Header Ads

උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උසට හරියන ඔබේ බර දැනගන්නේ මෙහෙමයි.


උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උසට හරියන ඔබේ බර දැනගන්නේ මෙහෙමයි.

මාසයකට කිලෝ 2කට වඩා බර අඩුකර ගැනීම අහිතකරයි
නිතර ලෙඩ රෝග හැදීම දරුවා කෙට්ටු වීමට ප්‍රධාන හේතුවක්
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස
අධික කෙට්ටු බව එක්
අයකුට ගැටලුවකි. අධික මහත බව තවත් අයකුට ගැටලුවකි. මෙම තත්ත්වයන් දෙකම නිසා මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩා විඳින අය බොහෝය. එම නිසා අධික කෙට්ටු බවට මෙන්ම අධික මහත බවට හේතු මොනවා ද?

එමඟින් ඇතිවන ගැටලු මොනවා ද? එම තත්ත්වය නැති කරගන්නේ කෙසේ ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අපි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය හමුවීමු.

මොකක්ද මේ කෙට්ටු බව කියන්නෙ?

බොහෝ විට තමන්ගේ දරුවා කෙට්ටුයි කියා මවුවරුන් කියන්නේ දරුවාගේ ශරීරය දෙස පිටතින් බලලා. පිටතින් බැලු විට තම දරුවාගේ ශරීරය සිහින් නම් එම දරුවා කෙට්ටුයි කියා කියනවා.

වැඩිහිටි අයකු පිළිබඳත් එසේමයි. නමුත් විද්‍යාත්මකව දරුවකු හෝ වැඩිහිටියකු කෙට්ටුයි කියා හඳුන්වන්නේ උසට සරිලන ශරීර බරක් නැතිවීමයි.

මොකක්ද මේ උසට සරිලන බර?

කිසියම් පුද්ගලයකුගේ උසට සරිලන බරක් ඇතිදැයි සොයා බලන්නේ උස හා බර අනුව සකසනු ලබන කිසියම් අගයක් අනුවයි. එම අගය BMI අගය ලෙස හඳුන්වනවා. ශරීර ස්කන්ධ දර්ශකය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම BMI අගයයි. මෙහිදී බර කිලෝග්‍රෑම් වලින් ද උස මීටර් වලින් ද ගත යුතු වෙනවා.

මෙහිදී ලැබෙන අගය 19 - 24 ත් අතර නම් එය උසට සරිලන බරක් ලෙස සලකනු ලබනවා. එම අගය 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුල අයකු ලෙස සලකනු ලබනවා. 18 ට අඩු පුද්ගලයින් කෙට්ටු පුද්ගලයින්, බර අඩු පුද්ගලයින් ලෙස සලකනු ලබනවා.

වැඩිහිටි පුද්ගලයින්ගේ එම අගය පිළිබඳව බරපතළ ලෙස සිතුවත්, වයස අවුරුදු 20 ට අඩු නව යොවුන් වියේ පසුවන අයගේ එම අගය වෙනස් වීම එතරම් බරපතළ කාරණයක් ලෙස සලකන්නේ නෑ.

කෙට්ටු බව ගැටලුවක් ද?

ඔව් ගැටලුවක්. විශේෂයෙන්ම හැදෙන වයසේ පසුවන දරුවන්ට එය ගැටලුවක්. යමෙකුට උසට සරිලන ශරීර බරක් තිබුණේ නැතිනම්, එමඟින් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙනවා. විශේෂයෙන්ම දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන්නේ මුල් අවුරුදු 4 ඇතුළත. එම වයසේදී දරුවාගේ උසට සරිලන බර නැතිනම්, එම දරුවාට වර්ධනයේ උපරීමයට ළඟාවීමට නොහැකි වෙනවා.

කෙට්ටු වීමට බලපාන හේතු මොනවා ද?

අප එදිනෙදා සිදුකරන වැඩ කටයුතු අනුව අපට දිනකට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයත්, කැලරි ප්‍රමාණයත් තිබෙනවා. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයකුට නම් එම පුද්ගලයාට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයක් තිබෙනවා.

එසේම එතරම් කය නොවෙහෙසන පුද්ගලයකුට නම් (උදා - කාර්යාලීය ලිපිකරුවකු වැනි) එම පුද්ගලයාට ද අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයක් තිබෙනවා. එසේම හැදෙන වයසේ පසුවන කුඩා දරුවකුටනම්, එම දරුවාගේ වර්ධනයට අවශ්‍ය වන ප්‍රෝටීන ප්‍රමාණයක් ඛනිජ ලවන ප්‍රමාණයක් තිබෙනවා.

ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය වන පෝෂණය කැලරි ප්‍රමාණය නොලැබෙන්නේ නම්, එම පුද්ගලයා තුළ පෝෂණ ඌණතාවක් ඇතිවී උසට සරිලන බරක් නැතිවීමට එය බලපානවා; කෙට්ටු වීමට බලපානවා.

එලෙස කෙට්ටු වන දරුවන් තමයි ඉදිරි කාලයේ දී මිටි දරුවන් බවට පත්වන්නේ. මෙහිදී කෙටි කාලීනව ඇතිවන ගැටලුව කෙට්ටු බවයි; දීර්ඝ කාලීනව ඇතිවන ගැටලුව මිටි බවයි.

කෙට්ටු වීමට බලපාන වෙනත් හේතු තිබෙනවා ද?

පෝෂණ ඌනතාවට අමතරව, තවත් හේතු කීපයක්ම කෙට්ටු බවට මුල් වෙනවා. නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීම කෙට්ටු වීමට බලපාන ප්‍රධාන සාධකයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එම තත්ත්වය බෙහෙවින් බලපානවා.

ඕනෑ අයකු රෝගී වූ විට එම පුද්ගලයාගේ පෝෂණ අවශ්‍යතා වැඩි වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ. නමුත් රෝගාබාධයක් වැලඳුණු විට ආහාර රුචිය අඩුවීම සාමාන්‍ය දෙයක්. එවිට එම පුද්ගලයාගේ පෝෂණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොලැබී යනවා.

එසේම ශ්‍රී ලංකාවේ දරුවන් ගෙන් 30% කට පමණ රෝගී වූ විට ආහාර ලබා දෙන්නේ වෙනදාට වඩා අඩුවෙන් බවත් හෙළි වී තිබෙනවා. එවැනි දරුවන් කෙට්ටු වීමේ හැකියාව ඉතා වැඩියි. රෝගී කාලයේදීත් හොඳ පෝෂණයක් ලැබෙන දරුවන් ඉතා ඉක්මනින් සුවපත් වී යථා තත්ත්වයට පත් වෙනවා.

නමුත් නිතර අසනීප වී අසාමාන්‍ය ලෙස කෙට්ටු බවට පත්වන දරුවන් නැවත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතා අඩුයි. එහි ප්‍රතිඵලය වන්නේ එම දරුවන් දිගින් දිගටම රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමයි. එවිට මෙය දිගුකාලීන ගැටලුවක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලය එම දරුවා මිටි දරුවකු බවට පත්වීමයි.

මීට අමතරව යම් යම් රෝගී තත්ත්වයන් නිසා ද කෙට්ටු බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා හොඳින් සිටි අයකු හදිසියේම කෙට්ටු බවට පත්වූ විට එම කෙට්ටු බව ඇතිවීමට හේතුව සොයා බැලිය යුතු වෙනවා. ඉන් පසුව එම කෙට්ටු බවට හේතුව කිසියම් රෝගාබාධයක් ද යන්න සොයා බැලිය යුතුයි.

දියවැඩියාව මෙන්ම, ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු නිසාත් යමෙකු කෙට්ටු බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඉතා නිරෝගීව සිටි පුද්ගලයකු හදිසියේම කෙට්ටු බවට පත්වූයේනම් එම කෙට්ටු බව ගැටලු සහගතයි. ශරීරය තුළ ඇතිවන පිළිකාවන් නිසා ද හදිසියේම කෙට්ටු වීමට ඉඩ තිබෙනවා.

එම නිසා හදිසියේම ඇතිවන කෙට්ටු බවට හේතුව කුමක්දැයි යන්න පරීක්ෂණ මඟින් තහවුරු කරගත යුතුයි. කෙට්ටු බව පෙන්නුම් කළ මුල් දින කීපයේදීම එයට බලපා ඇති හේතුව කුමක්දැයි යන්න සොයා බැලීමෙන් පහසුවෙන්ම එයින් මිදීමේ හැකියාව තිබෙනවා.

කෙට්ටු බව නැති කරගන්නේ කෙසේ ද?

කෙට්ටු බවට හේතුව පෝෂණ ඌනතාවක් බව හෙළි වුණොත් එයට ප්‍රධාන හේතුව ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය අඩුවීම බව පෙනී යනවා. ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ මෙන්ම යකඩ ද අඩුවූ විට කෙට්ටු වෙනවා.

එය නැතිකර ගැනීමට ගත යුතු පියවර වන්නේ ශක්තිජනක ආහාර ලබාදීමයි. සාමාන්‍යයෙන් දරුවකු නිරෝගීව සිටින විට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩිපුර කැලරී 200 ක් වැනි ප්‍රමාණයක් රෝගී වූ විට අවශ්‍ය වෙනවා.

එම කැලරි ප්‍රමාණය වැඩිපුර පොල්තෙල් හැන්දක් ආහාරයට එක්කර ගැනීමෙන් ලබාගත හැකියි. මෙහිදී රෝගියාට ආහාර වර්ග තෙම්පරාදු කර ලබාදීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව හබල පෙති කැඳ මඟින් ද දරුවාගේ පෝෂණ තත්ත්වය දියුණු කළ හැකියි.

දරුවකු රෝගී වූ විට කිරි බීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. එසේ වූ විට කිරි යොදා කස්ටඩ් එකක් ආකාරයෙන් ලබාදීම සුදුසුයි. එය දරුවකුට දිරවා ගැනීමට පහසු වෙනවා මෙන්ම දරුවන් ප්‍රියකරන ආහාරයක්. එසේම බිස්කට් යොදා සෑදූ පුඩිමක්, සව්කැඳ වැනි ආහාරයක් ද රෝගී වූ දරුවකුට ලබාදිය හැකියි.

රෝගී වූ විට ඕනෑම අයකුට ආහාර අරුචියක් ඇතිවන නිසා ආහාර ගන්නේ සුළු ප්‍රමාණයක්. එම නිසා එම සුළු ආහාර ප්‍රමාණය තුළ විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු වන්නේ නම් එය ප්‍රයෝජනවත්. ළමා වියත් තරුණ වියත් අතර වයසේ පසුවන දරුවන් යකඩ ඌනතාවට ගොදුරු වීම බහුලයි.

එවිට එම දරුවන් කෙට්ටු වෙනවා. එම දරුවන්ගේ කෙට්ටු බවට හේතුව යකඩ ඌනතාව බව හෙළි වුණොත්, අවශ්‍ය වෛද්‍යමය ප්‍රතිකාර සහ පෝෂණය ලබාදීමෙන් මාස 3 ක් වැනි කාලයක් ගතවන විට දරුවා යථා තත්ත්වයට පත්කර ගත හැකියි.

රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිකරණ හැකියාව) වැඩිදියුණු කර ගැනීම සඳහා සුදුසු ආහාර වර්ග මොනවා ද?

විශේෂයෙන්ම ප්‍රෝටීන බහුල ආහාර සුදුසුයි. මෙහිදී මස් මාළු, බිත්තර, පියලි වර්ග මඟින් එම ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුළුවන්. එසේම කොළ වර්ග එළවළු පලතුරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙනවා.

උපතේදී බර අඩුව ඉපදීම එම දරුවාගේ අනාගත ජීවිතයට කෙසේ බලපානවා ද?

උපතේදී බර අඩුව ඉපදෙන දරුවකුට එම අඩුව එම දරුවාගේ ජීවිත කාලය පුරාම බලපානවා. බර අඩුව ඉපදෙන දරුවන් බොහෝ විට කෙට්ටුයි. එම උපතේදී බර අඩුවීම කෙට්ටු ශරීරයක් තිබීම වැනි කරුණු නිසා එම දරුවා වැඩිහිටියකු බවට පත්වූ විට දියවැඩියාව, හෘද රෝග වැනි රෝගාබාධවලට ගොදුරු වීමේ හැකියාව වැඩි වෙනවා. එම කෙට්ටු බව එම දරුවාගේ බුද්ධි වර්ධනයටත්, මතක ශක්තියටත් සෘජුවම බලපානවා.

එම කෙට්ටු දරුවා ගැහැනු දරුවකු නම්...?

කෙට්ටු දරුවා ගැහැනු දරුවකු නම් එහි බලපෑම ඉතා වැඩියි. එම ගැහැනු දරුවා තරුණියක වී විවාහ වන විටත් කෙට්ටු බවට පිළියම් යෙදුවේ නැතිනම්, ඇය මවක වීමේද‍ී ඇයට ඇයගේ කෙට්ටු බව විශේෂ බලපෑමක් කරනවා. විශේෂයෙන්ම උසට සරිලන බරකින් නොසිටින, කෙට්ටු ගර්භණී මවකට උපත් බර අඩු දරුවකු ලැබීමේ හැකියාව වැඩියි.

ඒ නිසා මවක් වීමට බලාපොරොත්තු වන යුවතියන් තම කෙට්ටු බව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ගර්භණී මවගේ කෙට්ටු බව නිසා උපදින දරුවාට ඇතිවන ගැටලුව දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට යාමට හැකිවීමයි.

ඊට අමතරව ඕනෑම වැඩිහිටි පුද්ගලයකු පිළිබදව සලකන විට එම පුද්ගලයා කෙට්ටු නම්, උසට සරිලන බරක් නැතිනම්, ඔහු රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි.

වයස අවුරුදු 60 ට වඩා වැඩි පුද්ගලයන් අවශ්‍ය පමණට වඩා කෙට්ටු වන විට ඔවුන්ගේ මාංශ පේෂි ප්‍රමාණය අඩුවීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩිවීමයි.

කෙට්ටු බව පරම්පරාවට යනවා ද?

ජානමය හේතු මත පරම්පරාවට යන කෙට්ටු බවක් තිබෙනවා. ඒ සමාජයේ ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ; කෙට්ටු පුද්ගලයන්ගෙන් 10% ක් වැනි සුළු පිරිසක් පමණයි. කෙට්ටු බවට විශේෂයෙන්ම බලපාන්නේ පෝෂණ ඌනතා සහ වෙනත් රෝගාබාධ.

මහත් වෙන්න ඖෂධ නැති ද?

නව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන්ම බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ කෙට්ටු බව විශාල ගැටලුවක්. ඇතැම් දරුවන් තමාගේ කෙට්ටු බව නිසා විශාල වශයෙන් මානසිකව පීඩා විඳිනවා. ඔවුන් තමන්ගේ කෙට්ටු බව නැතිකර ගැනීමට පුවත්පත්වල පළවන විවිධ දැන්වීම්වල ඇති නීත්‍යානුකූල නොවන ඖෂධ වර්ගවලට ප්‍රතිකාරවලට යොමු වෙනවා. එය ඉතා නිරර්ථක ක්‍රියාවක්.

යමෙකු උසට සරිලන බරක් නැතිනම්, කෙට්ටු නම්, එම කෙට්ටු බවට හේතුව සොයා බැලිය යුතුයි. ප්‍රතිකාර කළ යුත්තේ එම හේතුවටයි. වෛද්‍යවරුන් නොවන අය මහත් වීමට ප්‍රතිකාර කරන බවට දැන්වීම් පළ කළත් එවැනි නුසුදුසු ප්‍රතිකාරයන්ට තරුණ දරුවන් හසු නොවිය යුතුයි.

අධික මහත බව හෙවත් ස්ථුලභාවය යනු කුමක් ද?

ශරීර ස්කන්ධ දර්ශකයට අනුව යම් අයකු උසට සරිලන බරට වඩා වැඩි බරකින් යුක්ත නම්, එම පුද්ගලයා ස්ථුල පුද්ගලයකු ලෙස හඳුන්වනවා. මෙම දර්ශකයේ අගය 25 ට වඩා වැඩිනම් එම පුද්ගලයා මහත පුද්ගලයෙක් එසේ නැතිනම් ස්ථුල පුද්ගලයෙක්.

අධික මහතට බලපාන හේතු මොනවා ද?

හේතු ගණනාවක්ම තියෙනවා. අධික මහතට බලපාන හේතු අතරින් ජානමය බලපෑම ද එක් හේතුවක්. එහෙත් එය සුළු ප්‍රතිශතයක්. අධික මහත පුද්ගලයින් ගෙන් 10% ක් වැනි පිරිසක් තමයි ජානවල බලපෑම නිසා මහත් වී තිබෙන්නේ. ඉතිරි පිරිසට බලපා තිබෙන්නේ පාරිසරික සාධක.

පාරිසරික සාධක ලෙස මෙහිදී හඳුන්වන්නේ වැරැදි ආහාර පුරුදු සහ වැරැදි ජීවන රටාවේ පුරුදු. අපගේ ආහාර රටාව සහ ජීවන රටාව සමතුලිත වුණේ නැතිනම්, දිනපතා අපගේ පෝෂණ අවශ්‍යතාවයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නේනම්, එය අධික මහතට හේතුවක්. එම නිසා තමන් එදිනෙදා කරන වැඩ කටයුතු, නිරත වී සිටින රැකියාව, දිනපතා වැය කරන ශක්ති ප්‍රමාණය අනුව ආහාර ගැනීමයි සුදුසු.

මහත බවට හේතු වන ආහාර මොනවා ද?

ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨය සහ මේදය අධික ආහාර මහත් වීමට බලපානවා. මේදමය ආහාරවල කැලරි ප්‍රමාණය වැඩියි. මේදමය ආහාර ග්රෑම් එකක කිලෝ කැලරි 9 ක් තිබෙනවා. එසේම පිෂ්ඨය ග්රෑම් එකක කිලෝ කැලරි 4 ක් තිබෙනවා.

ඊට අමතරව ඇල්කොහොල් ග්රෑම් එකකින් කිලෝ කැලරි 7 ක් ලැබෙනවා. දිනපතා ගැඹුරු තෙලේ බදින ලද පැටිස් කට්ලට් රෝල්ස් වැනි ආහාර මෙන්ම ‘ෆ්‍රයිඩ් රයිස්’ ආහාරයට ගන්නා විට විශාල තෙල් ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා.

එමඟින් ලැබෙන ශක්තිය ශරීරයෙන් වැය වුණේ නැතිනම්, එය ශරීරයේ තැන්පත් වෙනවා. මෙය කෙටි කාලයක් තුළ සිදුවන ක්‍රියාවලියක් නොවෙයි. කෙට්ටු වීම ඉතාම කෙටි කාලයක් තුළ සිදු වෙනවා. නමුත් මහත් වීමට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වාගේම ඉතාම ඉක්මනින් කෙට්ටු බව නැතිකර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මහත බව අඩුකර ගැනීමට බොහෝ කාලයක් කැප කිරීමට සිදු වෙනවා.

මහත බව නැතිකර ගැනීමට “ඩයට් කිරීම” හෙවත් ආහාර නොගෙන සිටීම හරි ද?

සමාජයේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මහත තරුණ තරුණියන් තමන්ගේ මහත බව අඩුකර ගැනීමට රාත්‍රියේදී ආහාර නොගෙන සිටීමට පෙලඹී සිටිනවා. එය ඉතාම වැරැදි සහගත ක්‍රියාවක්. මහත බව අඩුකර ගැනීමට ආහාර පාලනය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් එම ආහාර පාලනය නිවැරැදිව කළේ නැතිනම් එය වෙනත් ශාරීරික ගැටලු රැසකටම හේතුවක් විය හැකියි.

ඇවිදීම, ඉඳගැනීම, සුළු වැඩක් කිරීම වැනි එදිනෙදා ජීවිතයේ අවශ්‍යම වැඩ කටයුතු ටික කරගැනීමට ඕනෑම පුද්ගලයකුට දිනකට කිලෝ කැලරි 1500 ක්වත් අවම වශයෙන් ශරීරයට ලබාගත යුතුයි. එසේ නොවුණහොත් එම පුද්ගලයාගේ ශරීරයේ විශාල ගැටලු මතු වෙනවා.

ඊට අමතරව ශරීරයේ මොළය හෘදය වැනි ප්‍රධාන ඉන්ද්‍රියයන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය නැතිව යනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස ශරීරය කෙට්ටු කරගැනීමට යැයි කියා ආහාර නොගෙන සිටීම අනුවණ ක්‍රියාවක්. ඒ නිසා මහත බව අඩුකර ගැනීමට ආහාර පාලනය වෛද්‍ය උපදෙස් අනුව කළ යුතුයි.

අධික මහත බව නිසා ඇතිවන ගැටලු මොනවා ද?

අධික මහත බව සෞඛ්‍ය ගැටලු රැසකටම හේතුවක්. වර්තමානයේ දී පාසල් දරුවන් අතර අධික මහත බව විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. බොහෝ දෙමවුපියන් තමන්ගේ දරුවන් මහතට ඉන්නවා දකින්න කැමැතියි.

එය ඉතාම වැරැදි සහගත මතයක්. මීට වසර 10 කට 15 කට පෙර සිටියාට වඩා වර්තමානයේදී වයස අවුරුදු 10 ට අඩු දරුවන් අතර දියවැඩියා රෝගය බහුල බව රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන් දෙස බලන විට පෙනී යනවා.

මවුපියන්ගේ පහසුව, මවුපියන්ගේ වැඩ අධික බව නිසා දරුවන්ව ක්ෂණික ආහාරවලටම යොමු කිරීම ඊට ප්‍රධාන හේතුවක්. දියවැඩියාව ඇති දරුවන් මෙන්ම අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය ඇති දරුවන් සමාජයේ බහුල වීමට දරුවන්ගේ අධික මහත බව හේතු වී තිබෙනවා.

එම අධික මහත දරුවන් වැඩිහිටියන් වූ විට ඔවුන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ හැකියාව ඉතා වැඩියි. එසේම අධික මහත දරුවන් පාසලේ අනෙක් දරුවන්ගේ උසුළු විසුළු වලටත් ලක්වෙනවා. එය එම දරුවන්ගේ මානසික වර්ධනයට අධ්‍යාපනයට බාධාවක්.

අධික මහත අඩුකර ගැනීමට කුමක් කළ යුතු ද?

ආහාර පාලනය ඉතා වැදගත්. දිනකට කිලෝ කැලරි 500 ක් ලබාදෙන ආහාර ප්‍රමාණයක් අඩුකර ගැනීමෙන් ස්ථුලභාවයෙන් මිදෙන්න පුළුවනි. එසේම තෙල් අධික ආහාර සම්පූර්ණයෙන්ම අඩුකර ගැනීම වැදගත්. එසේම අධික මහත පුද්ගලයින් දිනකට පැයක්වත් කය වෙහෙසා ඇවිදීම දිවීම වැනි ක්‍රීඩාවක නිරතවීම ඉතා අවශ්‍යයි. ව්‍යායාම සඳහා එක දිගට පැයක් ගත කිරීමට අපහසු නම් උදෑසන පැය භාගයක් ද සවස පැය භාගයක් ද වන ලෙස එම කාලය යොදාගත හැකියි.

මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ශරීරයේ බර එකවර අඩුකර ගැනීම නුසුදුසු බවයි. එක් මාසයක් තුළ කිලෝග්රෑම් 2 කට වඩා වැඩියෙන් ශරීර බර අඩුකර ගැනීම සුදුසු නෑ. ඒ; එමඟින් තවත් සෞඛ්‍ය ගැටලු රැසක්ම ඇතිවිය හැකි නිසයි.

වඩා වැදගත් වන්නේ මාසයකට අඩුකරගන්නා කිලෝග්රෑම් දෙක ඒ අයුරින්ම පවත්වා ගැනීමට කටයුතු කිරීමයි. රාත්‍රියට ආහාර නොගෙන සිටීමෙන් ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලට ගොදුරු වීමට ද ඉඩ තිබෙනවා. එම නිසා රාත්‍රියට බර ආහාර නොගෙන තම්බන ලද එළවළු පලතුරු වැනි දෙයක් හෝ ආහාරයට ගැනීම අවශ්‍යයි.

රෝගී දරුවාට තැම්බුම් හොදියි බතුයි දීලා පලක් නෑ
අසනීප වූ විට දෙන්න නුසුදුසු ආහාර කියා දෙයක් නෑ. විශේෂයෙන්ම දරුවකු අසනීප වූ විට අප දරුවාට ලබාදිය යුත්තේ දරුවා රුචි ආහාර වර්ගයි. එහෙත් අසාත්මිකතා වැනි තත්ත්වයකදී නොදිය යුතු ආහාර තිබෙනවා. එසේ නැතිව සාමාන්‍ය රෝගාබාධයකදී නොදිය යුතු ආහාර කියා දෙයක් ඇත්තේ නෑ.

විශේෂයෙන්ම දරුවකු රෝගී වූ විට දරුවාට දිරවාගත නොහැකි ලෙස ආහාර ලබාදීම සුදුසු නෑ. මස් මාළු වැනි ආහාර විශාල කැබැලි ලෙස දරුවාට දීම සුදුසු නෑ.

මස් මාළු වුණත් හොඳින් තම්බා සිහින්ව කඩා හෝ පොඩිකර දරුවාට ලබාදීම මඟින් දරුවාට එම ආහාර හොඳින් දිරවාගත හැකියි. එසේම බත් ආහාරයට දෙන්නේ නම්, බත් බෙරි වන තෙක් හොඳින් තම්බා දීම සුදුසුයි. ඕනෑම ආහාරයක් රෝගී දරුවකුට හෝ වැඩිහිටි අයකුට දිරවාගත හැකි ආකාරයෙන් සකසා දීමේ හැකියාව තිබෙනවා.

උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයකින් පෙළෙන දරුවකුට හෝ වැඩිහිටියකුට සීතල ආහාර දුන් විට එම රෝගී තත්ත්වය වැඩිවන අවස්ථාවන් තිබෙනවා.

ඒ අසාත්මිකතාව නිසා. එවැනි අයකුට යෝගට් වැනි ආහාරයක් ලබාදීමට අවශ්‍ය නම්, යෝගට් එක ශීතකරණයෙන් පිටත තබා සීතල බව පහවගිය පසුව එය ආහාරයට ලබාදීමේ වැරැද්දක් ඇත්තේ නෑ.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ දරුවකුට කිසියම් රෝගයක් වැලඳුණු විට එම රෝගයෙන් ඉක්මන් සුවය ලබාගැනීම සඳහා දරුවා කැමැති ආහාර ලබාදීම වැදගත් බවයි.

ඇතැම් මවුවරු දරුවන් රෝගී වූ විට තැම්බුම් හොදි සමඟ බත් වැනි ආහාරයක් ලබාදීමට පෙලඹෙනවා. බොහෝ දරුවන් එවැනි ආහාරවලට දක්වන්නේ අකමැත්තක්.

සාමාන්‍ය නිරෝගි දරුවකුට පැය 3 කට වරක්වත් ආහාර වේලක් ලබාදිය යුතුයි. එම දරුවා රෝගී වූ විට පැය දෙකෙන් දෙකට ආහාර ලබාදීම වැදගත්. එමඟින් රෝගී වූ දරුවාට අවශ්‍ය පෝෂණය ලබාගත හැකියි. එය දරුවා කෙට්ටු නොවීමට ප්‍රධාන හේතුවක්.

ගාමිණී සුසන්ත

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.