Header Ads

ඩෙංගි සහ පිළිකා නසන පැපොල් කොළ යුෂ,කැපුම්කීරිය හා බතල රිකිලි වලින් විශ්මිත ඔසුවක්


       
ඩෙංගි සහ පිළිකා නසන පැපොල් කොළ යුෂ,කැපුම්කීරිය හා බතල රිකිලි වලින් විශ්මිත ඔසුවක්
කලින් කලට රටින් රටට පැතිරී යන වසංගත රෝගවල නම් නිමක්‌ නැති බැව් පෙනෙන්නේ එම රෝගවලින් පීඩා විඳින ජන සංඛ්‍යාවේත් මිය යන සංඛ්‍යාවේත් වර්ධනයක්‌ පෙන්වන බැවිනි.

වසංගත රෝග සඳහා බහුතරයක ජනතාවක්‌ බටහිර ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතර එයින් යහපත් ප්‍රතිඵල ලබන්නන් සිටින අතර යහපතක්‌ නො ලබා මිය පරලොව යන්නෝ ද වෙති. ඩෙංගි උණ වසංගතය ඊට කදිම නිදසුනකි. මේ වන විට (2010-08-20) අපේ රටේ ඩෙංගි උණ නිසා රෝගී වූ සංඛ්‍යාව 27397ක්‌ වන අතර එයින් මිය ගිය සංඛ්‍යාව 195ක්‌ වෙයි.

මෙවැනි පසුබිමක්‌ යටතේ, මේ සඳහා ඇත්තේ බටහිර ප්‍රතිකර්ම පමණ ද? දේශීය (විකල්ප) ප්‍රතිකාර නොමැති ද? දේශීය ප්‍රතිකාර සඳහා පර්යේෂණ සිදු කර තිබේ ද? දැනට සිදු කරන්නේ ද යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවකි. මේ ගැටලුවට නිසි පිළිතුරක්‌ තිබිය යුතු ය. ඇත්ත වශයෙන් ම දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රත්‍යක්‍ෂ අත්දුටු ප්‍රතිකාර, රෝග ගණනාවකට ඇතත් බටහිර ගැත්තන් නිසා ඒවා පිළිගැනීමකට ලක්‌ නො වීම ප්‍රතිකාර පිළිබඳව පවතින පසුගාමී බවට හේතුවක්‌ වී ඇත.

මෙවැනි පසුබිමක ඩෙංගි උණ සුව කිරීම සඳහා පැපොල් (Carica papaya) කොළ යුෂ, කැපුම්කීරිය (Euphorbia hirta) යුෂ සහ බතල (Ipomoea batatas) රිකිලි නිස්‌සාරක ඉතා යෝග්‍ය වන බව මෙරට ජ්‍යෙෂ්ඨ උද්භිද විද්‍යාඥයකු මෙන්ම පර්යේෂකයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා පිළිගත හැකි සාධක සහිතව පෙන්වා දෙයි.

ඩෙංගි උණට සාර්ථක ප්‍රතිකාරයක්‌ වශයෙන් පැපොල් කොළ යුෂ යොදාගැනීම පිළිබඳව ඒ මහතා දරන්නේ මේ ආකාරයේ අදහසකි.

මේ පිළිබඳව මම දැනගත්තේ පාරිසරික උද්භිද විද්‍යාඥයන් ගේ අන්තර්ජාතික සංගමය මඟින් පළ කරනු ලබන Environ News නම් ප්‍රකාශනයෙන්. මෙය ඉන්දියාවේ ලක්‌නව් නගරය මූලස්‌ථානය කරගෙන ක්‍රියාත්මක වන අන්තර්ජාතික සංගමයක්‌.

පැපොල් කොළ යුෂ භාවිතය පිළිබඳව අන්තර්ජාලයේ වෙබ් අඩවි දහස්‌ ගණනක්‌ තිබෙනවා. මේ තොරතුරු බහුතරයක සඳහන් වන්නේ පැපොල් කොළ යුෂ භාවිතයෙන් ඩෙංගි රෝගය සුව කර ගත් අය පිළිබඳවයි. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි මේවා බටහිර වෛද්‍ය විද්‍යාත්මකව කළ පර්යේෂණ මඟින් සනාථ කිරීමක්‌ සිදු කර නැති බව. එහෙත් එපමණකින් මේවා අසත්‍ය තොරතුරු ලෙස බැහැර කරන්නටත් බැහැ.

උදාහරණයක්‌ ලෙස මලයාසියාවේ බොහෝ අය ඩෙංගි රෝගය වැළඳුණු විට පට්‌ටිකා සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පැපොල් යුෂ භාවිත කරනවා. පට්‌ටිකා සංඛ්‍යාව 8000ක්‌ දක්‌වා අඩු වූ මලයාසියානු රෝගියකුට පැපොල් කොළ යුෂ බීම නිසා දින දෙකක දී පට්‌ටිකා සංඛ්‍යාව 120000 දක්‌වා වැඩි වූ බව වාර්තා වෙනවා.

අන්තර්ජාලයේ වූ පහත සඳහන් තොරතුරත් බලමු.

"මගේ මිත්‍රයකුට වසර 2008 දී ඩෙංගි රෝගය වැළඳුණා. ඇය ගේ තත්ත්වය බරපතළ වුණා. පට්‌ටිකා සංඛ්‍යාව (Platelet Count) දින තුනක්‌ ඇතුළත 28000 දක්‌වා පහළට බැස්‌සා. රෝහල්ගත ව සිටි ඇය ගේ පෙනහලුවලට වතුර පිරෙන්න පටන් ගත්තා. ඇයට හුස්‌ම ගන්න පවා අපහසු වුණා. ඩෙංගිවලට ප්‍රතිකාරයක්‌ නැතැයි වෛද්‍යවරුන් පැවසුවා. ඒ වන විට ඇයට දෙවරක්‌ රුධිරය දී තිබුණා. ඇය ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය තුළින් ස්‌වාභාවිකව ම යම් ප්‍රතිරෝධයක්‌ ගොඩනැඟෙන තෙක්‌ බලා සිටින්නට වේ යෑයි වෛද්‍යවරුන් පැවසුවා.

අපි ඇය ගේ පට්‌ටිකා ප්‍රමාණය ඉහළ නැඟ සුව වේවා යෑයි යාඥා කළා. වාසනාවකට ඇගේ නැන්දා උණ රෝගය සඳහා පැපොල් කොළ යුෂ පිළිබඳව අසා තිබුණු නිසා පැපොල් කොළ තලා යුෂ මිරිකා ඇයට පෙව්වා. ඊට පසු දින ම ඇය ගේ පට්‌ටිකා ඉහළ යන්න පටන් ගත්තා. ක්‍රමයෙන් උණ බැස්‌සා. පැපොල් යුෂ දීම අපි තවදුරටත් කරගෙන ගියා. දින තුනෙන් ඇය සම්පූර්ණයෙන් සුවය ලැබුවා."

ඩෙංගි සතුරාට එරෙහි ව කැපුම්කීරිය


ඩෙංගි උණ සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස පිලිපීන ජාතිකයන් බතල රිකිලි ද යොදාගන්නා බැව් වාර්තා වෙයි. මෙහි දී බතල රිකිලි තැම්බූ වතුර ඩෙංගි රෝගීන්ට පානය කිරීමට දෙනු ලැබේ. ඔවුන් ගේ වට්‌ටෝරුවකට අනුව බතල රිකිලි පානය සකසා ගන්නේ මේ අයුරිනි. අඩියක්‌ පමණ දිගින් යුත් බතල රිකිලි 12 බැගින් වූ මිටි 5ක්‌ පමණ ජලයේ තම්බා විනාඩි 5ක්‌ පමණ නටවා ලැබෙන දියරයට ලුණු හෝ සීනි හෝ ස්‌වල්පයක්‌ දමා රෝගියාට ටික ටික පානය කිරීමට දෙනු ලැබේ. මේ බතල රිකිලි පානය ඩෙංගි රෝගීන්ට දීමෙන් රෝගියා ගේ ස්‌වාභාවික ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය පණ ගැන්වෙන බව පිලිපීන ජාතිකයන් ගේ විශ්වාසයයි.


මේ ආකාරයට බතල රිකිලි තැම්බූ පානය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව වෙබ් අඩවි තොරතුරු මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා ගෙනහැර දක්‌වන්නේ මේ අයුරිනි.

පිලිපීනයේ මැනිලා ප්‍රදේශයේ සම්පලොක්‌ නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ නෙරපාමියුසිනො සලාගා ගේ 15 හැවිරිදි දියණියට ඩෙංගි රෝගය වැළඳුණා. රුධිර පට්‌ටිකා ප්‍රමාණය 8000 දක්‌වා පහළ බැස්‌සා. අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. වෛද්‍යවරු ඇය ගැන අදහස අත්හැරියා. මේ අතරේ දී තමයි බටහිර වෛද්‍ය විද්‍යාව නිර්දේශ නො කළත් බතල කරටි තැම්බූ පානය ලබා දුන්නේ. එය දේශීය ප්‍රතිකාරයක්‌ වුණත් දින දෙක තුනක දී සුවය ලැබුණා.

තවත් සිද්ධියක්‌ මැනිලා නුවරින් ම පෙන්වා දෙන්න පුළුවන්. ඔහු නමින් වෙන්සෙස්‌ලාවෝ සේල්. 27 හැවිරිදි ඔහු පරිගණක ශිල්පියෙක්‌. ඔහුට ඩෙංගි උණ වැළඳුණා. පට්‌ටිකා ප්‍රමාණය 800 දක්‌වා පහළ බැස්‌සා. වෛද්‍යවරුන් ඔහු ගිලන් රථයකින් වෙනත් රෝහලකට ගෙන ගියා. ගිලන් රථයෙන් ගෙන යන අතරේ එහි සිටි පූජකවරයෙක්‌ බතල රිකිලි තම්බා දෙන ලෙස නියම කළා. ඔහු ගේ වැඩිහිටියන් බටහිර ප්‍රතිකාර කරන අතර ම බතල රිකිලි තැම්බූ පානය දුන්නා. දින දෙකක දී රුධිර පට්‌ටිකා ප්‍රමාණය වැඩි වී රෝගියා සුවය ලැබුවා.

 මරණාසන්න රෝගීන් ගේ ජීවිත විකල්ප ක්‍රමයකින් හෝ බේරාගත යුතුයි

"මට මෙතන දී කියන්න තියෙන්නේ ගස්‌ලබු කොළ, කැපුම්කීරිය, බතල කරටි, මේවා අපේ රටට ආගන්තුක අපි නො දන්න ශාක වර්ග නෙවෙයි. අපේ රටවැසියෝ හොඳින් දන්නා ඖෂධීය මෙන්ම ආහාරමය ශාක වගේම පලතුරු ශාක. බතල කරටි අපේ ගම්වැසියන් ගේ දෛනික ආහාරයේ රසවත් වෑංජනයක්‌. එනිසා බතල කරටි තම්බා බීම පානයක්‌ හැටියට සුදුසුයි කියලා මම සිතනවා.

නැවතත් මට කියන්න වෙන්නේ මේ ප්‍රතිකාර ක්‍රම දේශීය වශයෙන් ප්‍රත්‍යක්‌ෂ බව වඩාත් හොඳින් පැහැදිලි කර තිබෙන්නේ අපේ පොදු ජනතාවයි. නිදසුනක්‌ ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවේ අනුමත කරන ඖෂධ වට්‌ටෝරු පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය නෑ. රසායනික වශයෙන් කරන පර්යේෂණයක්‌ මඟින් නව ඖෂධයක්‌ නිපදවීමකට හැර වට්‌ටෝරුවේ ගුණ අගුණ සෙවීමට තවත් පර්යේෂණ අවශ්‍ය නෑ. ඒ නිසා මම සිතන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට ඩෙංගි සුව කළ නොහැකි නම් දේශීය ප්‍රතිකාර මඟින් හෝ සුව කිරීමට ක්‍රමවේදයක්‌ තිබිය යුතුයි කියලයි. එය මහජනයා අතරින් ම ප්‍රත්‍යක්‌ෂ වී තිබෙනවා. එය සුබ ලකුණක්‌.

ස්‌වාභාවික ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ වර්ධනයක්‌ තුළින් රෝගියා සුවපත් වන තුරු බලා සිටීම හැර බටහිර වෛද්‍ය ක්‍රමයේ හෙවත් ඇලොපති ක්‍රමයේ නැත යන්න මගේ විශ්වාසයයි. ලැබෙන ආරංචිවලට අනුව ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සමහර රෝගීන් රෝහල් කාර්ය මණ්‌ඩලයටත් වෛද්‍යවරුන්ටත් රහසේ ගස්‌ලබු කොළ යුෂ වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම අනුගමනය කර සුවපත් වූ නිදසුන් අපේ රටේත් තිබෙනවා. මම කියන්නේ මරණය අභියස සිටින එවැනි රෝගීන් ගේ ජීවිත බේරා ගැනීමට විධිමත් ක්‍රමයක්‌ නොමැති නම් විකල්ප ක්‍රමයකින් හෝ එය සිදු විය යුතු බවයි.

බටහිර වෛද්‍ය ක්‍රමය වුවත් වෙනත් වෛද්‍ය ක්‍රමයක්‌ අනුගමනය කරන වෛද්‍යවරුන් වුවත් තමන් අනුගමනය කරන වෛද්‍ය ක්‍රමය සමග වෙනත් සාධාරණ විකල්ප ප්‍රතිකාර මාර්ගයක්‌ හෝ අනුගමනය කිරීම මරණය අභියස සිටින රෝගීන් වෙනුවෙන් ගන්නා ඉතා ම සාධාරණ ක්‍රියා මාර්ගයක්‌ කියලයි මම කියන්නේ.

 පැපොල් කොළ පිළිකා සුවයටත්

ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යායතනයේ ආචාර්ය ඔව්සුකී ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද පර්යේෂණවලින් පැපොල් කොළ යුෂවලට පිළිකා සුව කිරීමේ හැකියාවක්‌ තිබන බව අනාවරණය වී ඇත.

Journal of the Ethnopharmacology නම් ලොව ප්‍රකට සඟරාවේ වසර 2010 පෙබරවාරි 17 වැනි දින නිකුත් වූ කලාපයේ පර්යේෂණ වාර්තාවකට අනුව මෙසේ සඳහන් වෙයි. පිළිකා සහ පැපොල් කොළ නිස්‌සාරක භාවිතය බොහෝ දෙනකුට නවක ප්‍රවෘත්තියක්‌ වුවත් සැබැවින් ම එය ප්‍රවෘත්තියක්‌ නො වේ. ඕස්‌ටේ්‍රලියාවේ ගෝල්ඩ් කොස්‌ට්‌ වැසියෝ කලක සිට පිළිකා ප්‍රතිකාරයක්‌ ලෙස පැපොල් කොළ නිස්‌සාරකය භාවිත කරති. වර්ෂ 1978 දී Gold Cost Bulletin නම් සඟරාවේ පළ වූ ලිපියක්‌ හැරල්ඩ් ඩබ්ලිව් ටයිටස්‌ නම් ලේඛකයා විසින් ලියන ලද Papaya The Medicene Tree නම් කෘතියට ඇතුළත් කළ පසු මෙය වඩාත් ප්‍රචලිත විය. මේ ලිපියේ සඳහන් වන්නේ පැපොල් කොළ නිස්‌සාරක ((Extract) භාවිතයෙන් පෙනහළු පිළිකාවෙන් සම්පූර්ණ සුවය ලැබූ ස්‌ටැන් ෂෙල්ඩන් නමැත්තා ගේ අත්දැකීම් ය. වසර 1962 දී පමණ කාලයක දී ඔහු තමා මුහුණ දුන් අත්දැකීම විස්‌තර කරන්නේ මේ අයුරිනි.

"වෛද්‍ය පර්යේෂණවලින් මගේ පෙනහලු දෙකේ ම පිළිකාවක්‌ ඇති බැව් වෛද්‍යවරු පෙන්වා දුන්නා. මේ අතරතුරේ දී ඕස්‌ටේ්‍රලියාවේ ආදිවාසිS ඇබොරිජින්වරු පැපොල් කොළ නිස්‌සාරක පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බැව් අසන්නට ලැබුණා. මාස දෙකක පමණ කාලයක්‌ මේ ප්‍රතිකාරය කළා. ඉන්පසුව මම කළේ ක්‍ෂය රෝගය සඳහා පපුවේ එක්‌ස්‌ කිරණ ඡායාරූපයක්‌ ගැනීමයි. මේ එක්‌ස්‌ කිරණ ඡායාරූප පරීක්‍ෂා කළ වෛද්‍යවරු කීවේ මගේ පෙනහලු දෙකේ ආබාධයක්‌ නැති බවයි. ඉන්පසුව මම මගේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත වෛද්‍යවරයා ගේ අදහස පවසා සිටියා. ඔවුන් ඒ අදහස පිළිගත්තේ නෑ. ඔවුන් කළේ මාව නැවත වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමයි. ඔවුන් ගේ වෛද්‍ය පර්යේෂණවලින් පෙනහලු පිළිකාව සුව වී ඇති බැව් නිර්දේශ කර පැපොල් කොළ නිස්‌සාරක ප්‍රතිකාරය දිගට ම කරන ලෙසට අවවාද කළා."

මෙයින් පසු ස්‌ටැන් ෂෙල්ඩන් තමන් ගේ අත්දැකීම් අනෙක්‌ පිළිකා රෝගීන්ටත් කියා දී ඇති බවත් එම රෝගීන් ගෙන් 16 දෙනකු සුවය ලැබූ බවත් Papaya The Medicine
Tree කෘතියේ සඳහන් වෙයි.

මේ සිද්ධිය හා සම්බන්ධ පැපොල් කොළ නිස්‌සාරකය සාදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා කරුණු දක්‌වන්නේ මේ අයුරිනි.

පැපොල් කොළ නිස්‌සාරකය පිළිකා සඳහා යොදා ගැනීමේ දීත් ඩෙංගි උණ සඳහා යොදා ගැනීමේ දීත් අනුමත කරන්නේ ක්‍රමවේද දෙකක්‌.

ඩෙංගි උණ සඳහා පැපොල් කොළ කොටාගත් යුෂ අමුවෙන් හෙවත් ස්‌වරසයක්‌ වශයෙන් භාවිත කළත් පිළිකා සඳහා භාවිත කරන්නේ කොළ තම්බා සිඳ පෙරාගත් කොටසයි. මේ ආකාර දෙකේ ගුණ වෙනස්‌. ඒ නිසයි රෝග දෙකක්‌ සඳහා යොදා ගන්නේ.

මෙහි දී රෝග නො වැළඳුණු නැත්නම් නිරෝගී පැපොල් කොළ තුනක්‌ පමණ අරගෙන හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මඳ වේලාවක්‌ මඳ පවනේ වේළාගෙන පසුව සිහින්ව කපා ගන්න. වතුර ලීටර් 2ක්‌ පමණ ඊට එකතු කර හොඳින් නටන තෙක්‌ රත් කරගන්න. ඉන් පසුව කළ යුත්තේ මඳ ගින්නේ ලීටර් 1ක්‌ පමණ දක්‌වා සිඳෙන තෙක්‌ රත් කිරීමයි. මෙහි දී මතක තබාගත යුතු දෙයක්‌ තමයි පැපොල් කොළ තැම්බීමේ දී භාජනයේ කට වාතයට විවෘතව තැබිය යුතුයි. ඒ කියන්නේ කට වසා රත් කිරීම නො කළ යුතුයි. ලීටර් 1ක්‌ දක්‌වා ප්‍රමාණයකට සිඳගත් පසු නිස්‌සාරකය පෙරා ගන්න. පෙරාගත් නිස්‌සාරකය බෝතල්වලට දමා ශීතකරණයක තබා වරකට මේස හැඳි 3 බැගින් දවසකට 3 වරක්‌ පානය කළ යුතුයි. ශීතකරණයේ තබාගත් නිස්‌සාරකය වලාකුළු මෙන් අවපැහැගැන්වී තිබේ නම් එය පානයට සුදුසු නැහැ. කළ යුත්තේ කලින් කී ආකාරයට නව නිස්‌සාරකයක්‌ සදා ගැනීමයි. මේ නිස්‌සාරකය අප්‍රසන්න ගඳකින් හා පෙනුමකින් යුක්‌ත වුවත් ඉතා ම ගුණදායක බැවින් ගුණය ගැන සලකා පානය කිරීම රෝග සුවයට හේතුවක්‌.

පැපොල් ශාකයේ පත්‍ර සහ අනෙකුත් කොටස්‌වල නිස්‌සාරක ශරීරගත සියලු ම පිළිකා, විශේෂයෙන් ආමාශයික පිළිකා, පෙනහලු පිළිකා, අග්න්‍යාශයික පිළිකා, ගුද පිළිකා, ලේ පිළිකාව හෙවත් ලියුකීමියා වැනි පිළිකා රාශියකට ප්‍රතිකාරයක්‌ ලෙස යොදා ගත හැකි ය. අතුරු ආබාධ නැති බැවින් එය ආරක්‍ෂාකාරී බවත් ඖෂධයක්‌ වශයෙනුත් වැඩි වටිනාකමක්‌ ගනී.

නූතන විද්‍යාත්මක පර්යේෂණවලට අනුව පැපොල් කොළවල ඇසිටොජෙනින් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු බැව් අනාවරණය වී ඇත. මේ රසායන ද්‍රව්‍යය පිළිකා නාශක ගුණයක්‌ දක්‌වන බැවින් පිළිකා සෛලවල ඇඩිනොසින් ට්‍රයිපොස්‌පේට්‌ (ATP) නිෂ්පාදනය අඩපණ කරමින් සෛල මරා දැමීමේ හැකියාවක්‌ ඇත.

ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනයේ උපදෙස්‌ අනුව වර්ෂ 1976 දී ඇමෙරිකාවේ පර්ඩ්‍යq සරසවියේ (University of Purdue) මහාචාර්යවරයකු වන මැක්‌ලා ප්ලින්, ශාක රැසක ප්‍රති පිළිකාමය ගුණය පිළිබඳව පර්යේෂණ කර ඇත. මෙහි දී ඔහු විසින් ශාක විශේෂ 3500ක්‌ පිළිබඳව කරන ලද පර්යේෂණ අතුරින් ඉහළ ම මට්‌ටමේ ප්‍රති පිළිකාමය ගුණයක්‌ පෙන්වා ඇත්තේ පැපොල් නිස්‌සාරකය බැව් අනාවරණය විය. මෙහි ජෛවීය වශයෙන් ක්‍රියාකාරී රසායනික සංඝටක 50ක්‌ පමණ අඩංගු වන බව ද අනාවරණය විය. මේ රසායනික සංඝටක අතුරින් ඇසිටොජෙනින් නම් රසායනිකය ප්‍රතිපිළිකාමය ක්‍රියාකාරිත්වය සඳහා මූලික වන බැව් අනාවරණය විය.

පැපොල් ශාකයේ අඩංගු බීටා ක්‍රිප්ටොක්‌ස්‌ඇන්තින් (Beta Cryptoxanthin) සහ බෙන්සයිල් අයිසොතයෝසයනේට්‌  නමැති රසායනික සංඝටක ප්‍රති පිළිකාමය ගුණය දක්‌වන බැව් නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා පෙන්වා දෙන අන්දමට පැපොල් නිස්‌සාරක ආධාරයෙන් පිළිකා වැළැක්‌වීම හා මර්දනය පිළිබඳ ජපන් සහ ඇමෙරිකානු විද්‍යාඥයින් දැනටමත් අන්තර්ජාතික පේටන්ට්‌ බලපත්‍රයක්‌ හිමි කරගෙන ඇත. අංක (Beta Cryptoxanthin දරන මේ පේට්‌න්ට්‌ බලපත්‍රය වසර 2006 දී නිකුක්‌ කරන ලද්දකි. ජපන් ජාතික චිකාඕ මොරිමොටෝ (Cයසන්ද ඵදරසපදඑද) සහ ඇමෙරිකානු ජාතික ඩැන්ග් (Hග භ්ප Daබට) යන විද්‍යාඥයන් දෙදෙන මෙහි අයිතිකරුවෝ වෙති.

Compositions for cancer prevention, treatment or amelioration comprising papaya extract නම් වූ මේ පේට්‌න්ට්‌ බලපත්‍රයේ සාරාංශයෙහි මෙසේ සඳහන් වෙයි.

"පැපොල් ශාකයේ පත්‍ර සහ අනෙකුත් කොටස්‌වල නිස්‌සාරක හෝ භාහිකයන් පිළිකා රාශියකට ප්‍රතිකාරයක්‌ ලෙස යොදාගත හැකියි. පැපොල් ශාකයේ නිස්‌සාරක, ආහාර පිළියෙල කිරීම සඳහාත් පිළිකා වැළැක්‌වීම් හා ප්‍රතිකාරක ලෙසත් යොදාගත හැකි හෙයින් මානව සෞඛ්‍ය සංරක්‍ෂණය නංවාලීම සඳහා වඩාත් වැදගත් වෙයි."

කෙසේ වෙතත් පැපොල් පලතුරක්‌ ලෙස ලක්‌වැසියන්ට වඩාත් සමීප ය. මෑත කල සිට ඩෙංගි මර්දනය සඳහා පැපොල් කොළ යුෂ ද බහුතරයකට නො වුවත් වර්තා වන අන්දමට සුළුතරයකට හෝ සාර්ථක ඖෂධීය ප්‍රතිකාරකයක්‌ වී තිබේ. විද්‍යාත්මකව කළ පර්යේෂණවලට අනුව පිළිකා සඳහා ද සාර්ථක ඔසුවක්‌ ලෙස පැපොල් කොළ නිස්‌සාරකය නිර්දේශ වී තිබීම ලක්‌වැසියන්ට සුබ ආරංචියක්‌ වනු ඇත.

විදුසරට දන්වන්න

පැපොල් කොළ හා මෙහි සඳහන් හෝ වෙනත් අදාළ ශාක යුෂ පානය කර සුව වූ ඩෙංගි රෝගීන් පිළිබඳව මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා විසින් සිදු කරනු ලබන සමීක්‌ෂණයකට විදුසර ද දායක වී සිටියි. මේ ආකාරයෙන් සුවය ලැබූ රෝගීන් පිළිබඳ විස්‌තර විදුසර වෙත දන්වන්න.

ඩෙංගි වැළඳුණු දිනය, පානයට දුන් යුෂය ලබාගත් ශාක වර්ගය, පානය කිරීම ඇරඹූ දිනය, පානය කර දින කීයකට පසු සුව වූයේ ද යන්න. (සඳහන් කිරීමට අකැමැත්තක්‌ නැත්නම්) නම, ගම හා දුරකථන අංකය සඳහන් කර එවන්න.

අමල් උඩවත්ත

විශේෂ ස්‌තුතිය තොරතුරු සැපයූ
මහාචාර්ය පියසිරි අමිලසිත් යාපාට

මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා
උද්භිද විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය.
 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


No comments:

Powered by Blogger.