Header Ads

සම සංවේදී නම් ඉක්මනින් සමේ රෝග ඔබට ඇතිවෙන්න පුළුවන්.


සම සංවේදී නම් ඉක්මනින් සමේ රෝග ඔබට ඇතිවෙන්න පුළුවන්.
සම රැකගන්න අප බොහෝ සත්කාර කරනවා. නමුත් ඇතැම් විට සමේ යම් යම් රෝග තත්ත්වයන් ඇතිවන අවස්ථා නැත්තේ නෑ. සමහර විට සමේ මෙවැනි රෝග තත්ත්වයන් ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද යන්නවත් අප දන්නේ නෑ. නමුත් සමේ රෝගයක් ඇති වනවා නම් එයට හේතුවක් තිබෙනවා. සමේ රෝග ඇති වන්නේ ඇයි? එයට බලපාන හේතුන් මොනවාද?


අප බොහෝ විට වැඩි කාලයක් ජීවත් වන්නේ ඌෂ්ණ කාලගුණයක් සමඟයි. මේ නිසා අප අඳින ඇඳුම් ගැනද සැලකිලිමත් විය යුතු වෙනවා. දහඩිය උරා නොගන්නා ආකාරයේ ඇඳුම් ඇදීම නිසාද සමේ යම් යම් ආසාදන ඇතිවිය හැකියි.

අපට බහුලව දැකිය හැකි සමේ රෝග වශයෙන් සමේ ඇතිවන කොරළ ස්වභාවය කිහිලියට ඉකිලියට කළු පැහැවීම අළුහම් ආදිය දක්වන්නට පුළුවන්.

සමහර අයගේ සම ඉතාමත් සංවේදියි. මේ සංවේදී බව නිසාම සුළු දේවලට පවා සම අසාත්මිකතාවයන්ට ගොදුරු වන්නට පුළුවන්. යම් ආහාර පාන දුවිල්ල ආදිය නිසා සම කැසීම, රතුවීම, බිබිලි දැමීම ආසාදනයන්ට ලක්වීම සිදුවිය හැකියි.

මෙම සමේ ගැටලුකාරී තත්ත්වයන් අතර කුරුලෑ ආසාදන, වාත රක්ත රෝග ද බහුලයි. මෙහිදී සොරයිසිස් රෝගය නැත්නම් පොතු කබර රෝගය ද දැකිය හැකි අවස්ථා බහුලයි. මෙය හඳුනාගත හැකි ලක්ෂණය වන්නේ සමේ ඇතිවන කුඩා කැළැල් මත කසන විට කුඩු ආකාරයට සමෙන් පොතු ගැලවී යන ස්වාභාවයක් මතුවීමයි. මෙම තත්ත්වය ප්‍රථමයෙන් සුළු වශයෙන් පටන් ගෙන පසුව ශරීරය පුරා පැතිර යාමට පුළුවන්.

බොහෝ විට අප ගන්නා ඇතැම් ආහාර පානද සම ආශි‍්‍රත ගැටලුවලට හේතුවන බව පෙනී යයි. බොහෝ විට අද අපට ආහාරයට ගන්නට සිදුවන්නේ කෘමිනාශක ආදි විස ද්‍රව්‍ය යෙදු ආහාරයි. මෙම ආහාර නිසාද කලක් යනවිට සමේ යම් යම් රෝග හට ගන්නට පුළුවන්. මේ නිසා අප ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුයි.

මේ හැරෙන්නට වැඩිවියට පත්වීම, ආර්ථවභාවය, ගර්භණී බව වැනි අවස්ථාවන්වලදී ද සම ආශ්‍රීතව ගැටලු ඇතිවිය හැකියි.

ආයුර්වේදයේ දක්වා තිබෙන ආකාරයට අපේ සම සෑදී තිබෙන්නේ රස ධාතුවෙන්. මෙම රස ධාතුව කියන කොටසට නිසි පරිදි පෝෂණයක් නොලැබුණොත් සිදු වන්නේ එම රස ධාතුව විකෘතිභාවයට පත්වීමයි. එවිට සම ආශී‍්‍රත රෝග සමේ විවිධ දෝෂ හට ගන්නට පුළුවන්. මෙම සමේ රෝග ඇතිවූ විට එය සුළු අවස්ථාවේ සිට වඩාත් සංකීර්ණ අවස්ථා දක්වා පැතිර යා හැකියි. එම නිසා සමේ රෝගයක් ඇතිවූ විට එහි මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකර්ම කිරීමත් වෛද්‍ය උපදෙස් පිළිපැදීමත් ඉතා වැදගත්. සම වශයෙන් හඳුන්වන්නේ අපේ සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රියක්. අභ්‍යන්තරව ඇතිවන සමහර රෝග වෙනත් තැන්වලින් පෙන්නුම් කරන අවස්ථාවන් ද දක්නට ලැබෙනවා.

සමේ රෝම සඳහා ආයුර්වේදයේ සාර්ථක ලෙස ප්‍රතිකර්ම සිදු කරනවා නේද? සමේ රෝග තත්ත්වයන්ට ආයුර්වේදයේ සිදුකරන ප්‍රතිකාර පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

මෙහිදී අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා අපේ විශේෂ ඖෂධ මාලාවක් තිබෙනවා. බොහෝ විට සමේ රෝගයක් ඇති වූ විට ප්‍රතිකාර කිරීමේදී අප මුලින්ම කරනු ලබන්නේ ශරීරය ඇතුළතට බෙහෙත් ලබාදීමයි. මෙහිදී සිදු වන්නේ ශරීර අභ්‍යන්තරය පිරිසුදු කිරීම සහ විස පදාර්ථ බැහැරට ගැනීමයි.

මේ සඳහා ලේ පිරිසුදු කිරීමට අභ්‍යන්තර ඖෂධ මාලාවක් තිබෙනවා. මෙහිදී සම ආශි‍්‍රතව තිබෙන ගැටලුවලට බාහිරව කරන ප්‍රතිකර්මත් ඉතාමත් සුදුසුයි.

සම ආශි‍්‍රත ගැටලුවලට අපට පංචකර්ම ද යොදා ගන්නට පුළුවන්. මෙහිදී තෙල් යොදා ගෙන කරනු ලබන අභ්‍යංග ක්‍රමද තිබෙනවා.

වමන කර්ම ද ඒ අතරින් ප්‍රමාණයි. මෙමඟින් සම ආශි‍්‍රතව තිබෙන ගැටලු බොහෝමයක් ඉවත් වෙනවා. නිරෝගි සමක් ඇති අයගේ වුවද සමේ ඉතාමත් හොඳ පැහැයක් ඇති වෙනවා.

මෙහිදී විරේචන මඟින් හොඳින් මලපහ පිටවීමට ඖෂධ ලබාදෙනවා. එමෙන්ම නාසයට තෙල් දැමීම රක්ත මෝක්ෂණ ප්‍රතිකාරවලින් බොහෝ දුරට සමේ ඇතිවන රෝග තත්ත්වයන් ඉවත් කරගන්නට පුළුවන්. මේ අනුව බලන විට ආයුර්වේද ප්‍රතිකර්මවලින් සමේ රෝග සඳහා සාර්ථක පිළියම් යෙදිය හැකියි. මේ නිසා සමේ ගැටලුවක් ඇතිවිට එය නොසලකා හරිනවාට වඩා නිසි ප්‍රතිකර්මවලට යොමු වීම වඩාත් වැදගත් බව අමතක නොකළ යුතුයි.



උපදෙස් - ආයුර්වේද වෛද්‍ය

සුලෝචනා සේනාරත්න

චාම්වේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.