Header Ads

තැල්මක් සිදු වූ විට අයිස් දමා හෝ වෙනත් කිසිදු ආලේපයක් ගල්වා තදින් ඇතිල්ලීම නොකළ යුතුත්තේ මෙන්න මේ නිසා.


තැල්මක් සිදු වූ විට අයිස් දමා හෝ වෙනත් කිසිදු ආලේපයක් ගල්වා තදින් ඇතිල්ලීම නොකළ යුතුත්තේ මෙන්න මේ නිසා.

රෝගයක්ම නොවූවත් නිවෙසේ දී මෙන්ම නිවෙසින් බැහැර ස්ථානයකදී වුවද අපගේ ශරීරය තැල්මකට බඳුන්විය හැකියි. යම්කිසි තැල්මක් සිදු වූ විට එම මොහොතේදී අප කි‍්‍රයා කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීම ඉතා වැදගත්. ප‍්‍රථමයෙන්ම අප කලබල නොවිය යුතුය. තැලීමක් සිදු විය හැකි ආකාරයන් දෙකක් පවතී.

ඉන් එකක් වැටීමකින් සිදු විය හැකි අතර වැදීමකින් තැල්මක් සිදුවීම දෙවැනි ආකාරයයි.

වැටීමක් ලෙසින් අපට යම් කිසි උස ස්ථානයක සිට පහළට වැටීම්, පය පැකිලීමකින් සිදුවන වැටීම් ආදිය සැලකිය හැකිය. යම්කිසි ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් වේගයෙන් විත් ශරීරයේ ස්පර්ශ වීම, අප යම් කිසි ද්‍රව්‍යයක, භාණ්ඩයක හෝ බිත්තියක් වැනි ස්ථානයක වේගයෙන් හැපීම ආදිය වැදීමක් ලෙසින් හැඳින්විය හැකියි.

මෙලෙසින් සිදුවන තැලීමකදී බොහෝ විට ශරීරයේ බාහිරින් තුවාල නොමැති වුව ද ශරීර අභ්‍යන්තරයේ ඇති පේශීන්ට හා අස්ථීන්ට තුවාල සිදු වීමට ඉඩ ඇත. එම නිසා තැල්මක් සිදු වූ විට එය නොසලකා හැරීම ද සුදුසු කි‍්‍රයාවක් නොවේ.

තැලීමක් සිදුවන ස්ථානය අනුව එයට ලබා දිය යුතු ප‍්‍රතිකර්ම ද වෙනස් වේ. ශරීරයේ ඉතාමත් සියුම් ස්ථාන මෙන්ම වැදගත් ග‍්‍රන්ථීන් ආදිය පිහිටි ස්ථානවල සිදුවන තැලීම් පිළිබඳව අපගේ වැඩි අවධානයක් යොමුකළ යුතුය.

හිසට සිදුවන තැලීමක්

ඕනෑම සතකුගේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියයක් වේ. “මොනව වුනත් කමක් නෑ ඔලුව බේරිලා” යනාදී ජන වහරේ ඇති කියුම් වලින් ද හිසෙහි ඇති වැදගත්කම පිළිබිඹු වේ. හිස කුමනාකාරයකින් හෝ තැලීමකට බඳුන් වූ පසුව එහි බාහිරව තුවාල දක්නට නොමැති වුවද හිස අභ්‍යන්තරයේ සෛල හා පේශීන්ට හානි සිදුවීමෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු විය හැකිය. මෝටර් රථ අනතුරු ආදියෙහි දී පුද්ගලයින්ගේ බාහිර තුවාල නොමැති වුවද ඔවුන් මිය ගිය අවස්ථා ද දක්නට ලැබේ.

මෙයට හේතු වන්නේ හිසෙහි තැල්මක් සිදු වූ අවස්ථාවල එම පුද්ගලයාට සිහි විසඥවීමක් සිදු වන්නේ නම් බොහෝ විට හිසෙහි අභ්‍යන්තරයට නැතිනම් මොළයට හානි සිදු වී තිබීමට වැඩි ඉඩක් ඇත. එවැනි තැල්මකදී එම අවස්ථාවේදීම මඳ සිහියක් තිබුණද ඇතැම් විට කාලයක් ගතවන විට ඔහුට සිහිමඳ බවක් හෝ විටින් විට සිහි විසඥ වීමක් ඇතිවිය හැකියි. එහෙත් හිස තැලීමකට භාජනය වූ පසුව වමනය, හිසෙහි ඇතිවන තදබල වේදනා තත්ත්වයක් ඇතිවිය හැකියි. වමනය පිටවන්නේ නම් හෝ සිහි විසඥ වූයේ නම් එම පුද්ගලයා වහාම රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුයි. තදබල ලෙස හිසට තැලීමක් සිදුවීම නිසා, එහි ප‍්‍රතිඵලයක් ලෙස වලිප්පුව ඇති විය හැකිය. එබැවින් හිසෙහි බරපතල ලෙස තැල්මක් සිදුවූ අවස්ථා වලදී එය ඉහතින් සඳහන් කළ ලක්ෂණ අනුව අභ්‍යන්තරව හානි සිදුවූ අවස්ථාවක්දැයි විමසිලිමත්වී රෝගියා රෝහලකට ගෙන ගොස් ශෛල්‍ය වෛද්‍ය ඒකකයකින් ප‍්‍රතිකාර ලබාදීම යෝග්‍ය වේ.

අත්, පා වැනි ස්ථානයක සිදුවන තැලීමක්

බොහෝ විට එතරම් හානිදායක නොවේ. මෙවැනි ස්ථානයක තදබල ලෙස තැලීමක් සිදු වූ විට අභ්‍යන්තරික ලේ ගැලීමක් හෝ අස්ථි බිඳීමක් සිදු විය හැකි අතර එවැනි අස්ථි බිඳුමක දී එය බොහෝ විට රෝගියාට දැඩි වේදනාවක් ලෙසින් හෝ දැනීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් ඇති වූ විට වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතු වේ.

අප සමාජයේ පවතින දුර්මතයක් වන්නේ මෙවැනි තැලීමක් නිසා එය ජීවිතයේ පසු කාලීනව වෙනත් රෝගයක් ලෙසින් ඉස්මතු වීමට හෝ වෙනත් රෝගයකට හේතුවක් විය හැකි බවයි. මෙවැනි තැලීමක් නොසලකා හැරීමෙන් එය අංශභාගය, පිළිකා වැනි තත්ත්වයන්ට ද හේතු විය හැකි යැයි බොහොමයක් දෙනා සිතති. එය සත්‍යයෙන් තොර වූ හිතලුවක්ම පමණි.

පපුවට හෝ පපුව ආසන්නයේ වැටීමක් හෝ වැදීමක් නිසා සිදුවන තැල්මකදී ඒ පිළිබඳව අපගේ වැඩි අවධානය යොමු කළ යුතු වේ. මක්නිසාද පපුව ආසන්නයේ තදබල තැලීමක් සිදු වුවහොත් එය පෙනහළු වලට හානියක් සිදු කිරීමට ඉඩ ඇති බැවිනි. එවිට රෝගියාට ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමට ද අපහසු විය හැකිය. සාමාන්‍යයෙන් තැලීමක් සිදු වූ විට එම තැලීමට බඳුන් වූ ස්ථානයේ වර්ණය වෙනස් වීම, එනම් කළු පැහැයක් ඇතිවීම, ඉදිමීම හා වේදනාවක් ඇතිවීම සිදුවේ. තැල්මක් සිදු වූ ස්ථානය අයිස් දමා හෝ වෙනත් කිසිදු ආලේපයක් ගල්වා තදින් ඇතිල්ලීම සුදුසු නැත. එමගින් තැල්ම සිදුවූ ස්ථානයේ අභ්‍යන්තරව තුවාල සිදු වී ඇති පටක වලට එයින් වැඩි හානියක් සිදු විය හැකි බැවිනි. නමුත් තැල්මක් සිදුවූ ස්ථානයේ අයිස් තැබීමෙන් වේදනාව මඳක් අඩුකර ගත හැකිය. එමෙන්ම තැල්මට ලක්වූ ස්ථානය විවේකීව තැබිය යුතුයි. එනම් සන්ධියක් තැල්මට බඳුන් වූවා නම් එය කි‍්‍රයාකාරී නොකොට විවේකීව තැබිය යුතු වේ.

අභ්‍යන්තරික හානියක් සිදු වී ඇතැයි ඔබට හැඟේ නම් එය පරීක්ෂා කොට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා පළපුරුදු වෛද්‍යවරයකු වෙත යාම හෝ රෝහලකට යාම වැදගත් වේ. මන්ද නැතිනම් ලේ කැටියක් ඇතිවී එය පැසවීමට ලක්විය හැකි බැවිනි. අභ්‍යන්තරික හානියක් සිදු වී නොමැති තැලීමක් නම් එය කාලය ගතවීමත් සමගම යථා තත්ත්වයට පත්වනු ඇත.

අයන්ති උඩුගම්පල
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.