Header Ads

හෘද රෝග, ගැස්ට්‍රයිටිස්, මුත්‍ර රෝග දුරලන කෝමාරිකා ඔසුවේ තවත් සැගවුන රහසක් මෙන්න.


හෘද රෝග, ගැස්ට්‍රයිටිස්, මුත්‍ර රෝග දුරලන කෝමාරිකා ඔසුවේ තවත් සැගවුන රහසක් මෙන්න.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලොව ප්‍රචලිත වෙනත් වෛද්‍ය කර්මයන්ට වඩා විශේෂිත වූ වෛද්‍ය ක්‍රමයකි. ඒ බව පසක් කරවන බොහෝ සාක්‍ෂි සාධක මෙම වටිනා වෙදකමේ නිරත ඉසිවරුන් වෙදවරුන් සතු විශ්මිත වෛද්‍ය ක්‍රමවලින් අපට හමුවේ.

ආයුර්වේද වෙදකමින් ප්‍රයෝජන දෙකක් ලබාගත හැකි බවත් ඒවා නම් වැලඳුන රෝගයට පිළියම් කිරීමත්, රෝගී තත්ත්වයන්ට පත්නොවී නිරෝගී බව රැක ගැනීමත් ඒ සඳහා කළයුතු ඇවතුම් පැවතුම් අනුගමනය කිරීමත් බව පවසමින් හෙළ ඔසු ගුණ වරුණ පිළිබඳව විමසුමක නිරතව ආයුර්වේදයෙහි ලා ගැනෙන හෙළ ඔසු විශාල ප්‍රමාණයක් පිළිබඳව  අප සමග මෙවර සංවාදයක නිරත වූයේ අනුරාධපුරයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකු වූ එස්.එස්. ගුණවර්ධන මහත්මාය.

බයිපාස් සැත්කම් සඳහා නිර්දේශ වූ රෝගීන් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත හෘද රෝගීන් දේශීය ආයුර්වේද වෙදකමේ බලයෙන් සුවපත් කර ඇති ඉසිවරයෙකු බඳු වූ මෙම වෛද්‍යවරයා දරුපල අහිමි වූ අය ඇතුළු බොහෝ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමෙහි ලා අති දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයෙකි.

දිනපතා රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර කරමින් අතිශය කාර්යබහුල දිවියක් ගත කරන ගුණවර්ධන වෙද මහතා “රිවිර” පාඨක භවතුන් වෙනුවෙන් ලබා දුන් හෙළ ඔසු ගුණයන් අතුරින් මෙවර අපි “කෝමාරිකා” නම් වූ විශ්මිත ගුණයන්ගෙන් සපිරි ඖෂධීය ශාකය පිළිබඳව තොරතුරු ලබා දීමට අදහස් කරන්නෙමු.

“කෝමාරිකා” කියන්නේ ශ්‍රී ලංකාව පුරා ඕනෑම තැනක බහුලව දක්නට ලැබෙන වටිනා ඖෂධීය ශාකයක්. විශේෂයෙන්ම වියළි දේශගුණයෙන් යුත් ප්‍රදේශවල ඉතා සරුවට වැවෙනවා. “කුමාරි, ගෘහ කන්‍යා, ඍතු කුමාරි, ස්ථූලදලා, කුමාරිකා ග්වර පාඨා” කෝමාරිකාවලට යෙදෙන පර්යාය නාමවලින් කිහිපයක්.

තිත්ත සහ මධුර රසයෙන් යුත් කෝමාරිකා විශේෂයෙන්ම සිසිල් ගුණයෙන් යුක්තයි. මේ සිසිල් ගුණය අපේ ශරීරයේ උෂ්ණාධික භාවය දුරුකර ගන්න යොදා ගන්න පුළුවන්.

ආමාශගත තුවාල, ගැස් රයිටිස්, පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම, මාසික ඔසප් වීමට අදාළ ගැටලු, කාන්තා රෝග, මූත්‍රා පහවීමේ අසමතුලිතතා වැනි තත්වයන් සමනය සඳහා වාගෙම හෘද රෝගීන් සඳහා යොදා ගන්නා ඖෂධ වට්ටෝරුවලටත් කෝමාරිකා යොදාගන්නවා.

අපේ සිරුරේ නිරෝගීකම රැකගෙන ප්‍රතිශක්තිය වර්ධනයට භාවිත කළ හැකි දිව ඔසුවක් “කෝමාරිකා” කියන්නේ.
ශීර්ෂ රෝගවලටද ගුණදායක කෝමාරිකා අකලට හිස කෙස් වැටීම, හිස කෙස් පැසීම වළක්වන, විවිධ හිසේ රෝග සමනය කරන ගුණයෙන් යුක්තයි. ඒ සඳහා හිස ගැල්වීමට යොදා ගන්නා තෙල් වර්ග නිෂ්පාදනයේදී ප්‍රධාන ඖෂධයක් හැටියට කෝමාරිකා යොදා ගන්නවා.

ඒ වාගෙම තමයි මද සරු භාවය නිසා දරු පල අහිමි වීමෙන් පීඩා විඳින අයට ‘කෝමාරිකා’ දිව ඔසුවක්. මේ මඳසරු භාවයට ශරීරයේ උෂ්ණාධික බව එක් ප්‍රබල හේතුවක්. කෝමාරිකාවල ඇති සිසිල් ගුණය මෙම උෂ්ණාධික භාවය අවම කරන්න හේතු වෙනවා.

කෝමාරිකා ආහාර මාර්ගයේ විෂ මර්දනය කරනවා.

මේ විෂ නිසා තමයි ආහාර මාර්ගයේ තුවාල සිදු වන්නේ. විෂ නැති වුණාම තුවාල එන්නේ නැහැ.

ඒ නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් වැනි බොහෝ උදරාබාධ මර්දනයට කෝමාරිකා ඉතා වැදගත් ඔසුවක්.

පිලිස්සුම් තුවාල සඳහා කෝමාරිකා සාරය ඉතා වටිනා දිව ඔසුවක්. ඉතා තදබල පිලිස්සුමකදී පවා ප්‍රථමාධාරයක් ලෙස ක්‍ෂණිකව කෝමාරිකා සාරය පිලිස්සුණු ස්ථානවල එම ස්ථාන සම්පූර්ණයෙන් වැසීයන ලෙස ආලේප කිරීමෙන් දිය බුබුළු  ඇතිවීමත් ඒ තුළින් ඇතිවන තුවාල ඇතිවීමත් වළක්වා ගන්න පුළුවන්.

කෝමාරිකා ඝනීභවනය කිරීමෙනුයි “තිත්ත අබිං” නම් වූ වටිනා ඖෂධය සාදා ගන්නේ.

මේ වාගේ විශ්මිත ගුණයන්ගෙන් පිරිපුන් ‘කෝමාරිකා’ නම් වූ දිව ඔසුව ව්‍යංජනයක්, පානයක් හැටියට නිතර භාවිතයෙන් අපේ ශරීරවල බාහිර සහ අභ්‍යන්තරව හට ගන්නා බොහෝ රෝග පීඩා අවම කර ගත හැකියි.

ඒ සඳහා හොඳම දේ තමයි කෝමාරිකා ව්‍යංජනයක් ලෙස සහ පානයක් ලෙස භාවිත කිරීම එහිදී කෝමාරිකාවල ඇති තිත්ත සහ මධුර යන රස අතුරින් තිත්ත රසය ඉවත් කරගත් විට එය ඉතා රසවත් ව්‍යංජනයක් සහ පානයක් හැටියට සකස් කර ගන්න පුළුවන්. එවිට මේ ව්‍යංජනය පිපිඤ්ඤා ව්‍යංජනයක් වාගේ රසවත් ව්‍යංජනයක්.

මේ සඳහා කෝමාරිකා දඬුවල පිට පොත්ත ඉවත් කර ගන්න ඕනෑ. පසුව එය සුදු ඩිමයි කොළයක (මුද්‍රිත අකුරු නැති කෑම එතීම සඳහා භාවිත කරන සුදු ඩිමයි කොළ) ඔතලා පැයක පමණ කාලයක් තියන්න ඕනෑ. එවිට එම කොළය එහි ඇලෙනවා. පසුව එය ගලවා ඉවත් කර හොඳින් සෝදා ගත්තාම සූකිරි පළුවක් වාගේ වෙනවා. මෙය ‘පිපිඤ්ඤා’ ව්‍යංජනයක් සකස් කර ගැනීමේදී කපා ගන්නා ප්‍රමාණයට කැබලි ලෙස කපාගත යුතුයි. එහෙම කපාගත් කැබලි කිරි හොද්දක් සකස් කර එම කිරි හොද්ද පැසීගෙන එනවිට එයට දමා තවත් ටික වේලාවක් පස්සවා ගත් විට ඉතා රසවත් ව්‍යංජනයක්. මේ කිරි හොද්ද බොහෝ වේලාවක් පස්සවා ගත යුතු නැහැ. ස්මෘති ශක්තිය එහෙම නැත්නම් මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඉතා සුදුසු රසවත් පානයක් කෝමාරිකා – ගොටුකොළ පානය.

එම පානය සකස් කර ගැනීමේදීත් ඉහත කී ලෙසම කඩදාසියක දවටා කෝමාරිකා සකස් කරගත යුතුයි. එයට සම ප්‍රමාණයකින් ගොටුකොළ ද එක්කර ගත යුතුයි. මේ වර්ග දෙකට ජලය එක්කර කොටාගත් හෝ බ්ලෙන්ඩරයකින් සකස් කරගත් පානය ඉතා ගුණදායක, රසවත් පානයක්. මේ පානය විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවල එහෙම යෙදෙන දරුවන්ට නිතර දීම ඔවුන්ගේ ස්මෘති ශක්තිය වර්ධනයට හේතු වෙනවා.

‘කෝමාරිකා’ නම් වූ මෙම දිව ඔසුව සැබෑ ලෙසම දිව ඔසුවක්ම බව පසක් වන තවත් සාදකයක් වන්නේ විශේෂයෙන්ම හිස කෙස් හා රූපලාවණ්‍යයට අදාළ පෝෂණ සත්කාරකයන්හිදී එවන් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේදී ‘කෝමාරිකා’ නාමය නිතර භාවිත වීමයි.

එම නිෂ්පාදනයන්ට ‘කෝමාරිකා’ යොදා ගැනෙන ප්‍රමාණයට අනුව නම් ශ්‍රී ලංකාව තුළ සාර්ථක ව්‍යාපාරික ඔසු වගාවක් ලෙසද කෝමාරිකා වගාව ව්‍යාප්ත විය යුතුය.
කෙසේ වුවද අපේ ගෙමිදුලේ සරුවට වැවෙන කෝමාරිකා අප විසින්ම ව්‍යංජනයක්, පානයක් ලෙස යොදා ගැනීමෙන් ලබාගත හැකි නිරෝගී බව කෙරෙහි අපගේ අවධානය මීට වඩා යොමු විය යුතු බව අපගේ හැඟීමයි.
අනුරාධපුර මාර්කට් පෙදෙසේ ගුණවර්ධන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය, සාම විනිසුරු 

එස්.එස්. ගුණවර්ධන
සුනිල් පොරමඬල 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.